නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.
දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු පළාතෙත් පුත්තලම, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් සඳහන් කරනවා.
කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියාව ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින්විට හමන පැ.කි.මී. 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියාව තිබෙනවා.
වයඹ පළාතෙත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තද සුළං අපේක්ෂා කරනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

