මැදපෙරදිග නොසන්සුන්කාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සිටිනා විදෙශිකයන් ඉලක්ක කර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කිරිමට ශ්‍රී ලංකා පොලිසියට නියෝග කලද එය එතරම් පහසු කටයුත්තක් නොවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අප වාර්තාකරු සදහන් කරනවා.
එම නියෝගයට අනුව ශ්‍රි ලංකාවේ පිහිටි විදේශ තානාපති කාර්යාල, විදේශිකයන් රැඳී සිටින හෝටල් සහ ප්‍රසිද්ධ සංචාරක ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට කටයුතු කරන ලෙසයි නියෝග කර ඇත්තේ.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් තානාපති කාර්යාල හෝ සංචාරකයින් ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ විරෝධතා සිදුවිය හැකි බවට ආරක්ෂක අංශ සැක කරන අතර ආණ්ඩුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් බරපතල බියකින් පසුවන බවද ඔහු සදහන් කර තිබේ. ඒ අනුව එවන් තත්ත්වයන් වළක්වා ගැනීමට මෙම හදිසි ආරක්ෂක වැඩපිළිවෙළ යෙදිමට නියෝග කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සංචාරක පොලිස් කොට්ඨාසය ඇතුළු අදාළ අංශ මේ වන විටත් ආරක්ෂක කටයුතු කරමින් සිටින බවත් විශේෂයෙන්ම මෙරට පිහිටි යුදෙව් ආගමික සමාජීය කටයුතු සඳහා භාවිත කරනා ‘චබාද්’ (Chabad) මධ්‍යස්ථාන වෙත පැය 24 පුරා ආරක්ෂාව සැපයීමටද නියෝග කර තිබේන බවද ඔහු සදහන් කළා.
රාජ්‍ය තාන්ත්‍රික කළාප වලත් ආරක්ෂාව තර කරයි!
ඊට අමතරව රාජ්‍ය තාන්ත්‍රික කළාප සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල දිවා/රාත්‍රී මුර සංචාර ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් දී ඇති අතර ඒ තරම් ආරක්ෂාවක් සැපයිම සදහා අවශ්‍ය තරම් පොලිස් නිළධාරින් නොමැති බවද ඔහු පෙන්ව දෙනවා.
තානාපති කාර්යාල සඳහා පැය 24 පුරා ස්ථාවර ආරක්ෂාවක් සැපයීම ද මේ වනවිට අභියෝගයක් වී ඇති බව පෙන්වා දෙන අදාළ ජ්‍යෙෂ්ඨ නිළධාරියා මෙම මෙහෙයුම සදහා හමුදා කැදවිම අවශ්‍ය බවද පෙන්වා දෙනවා.
“අපි,පොලිස් දෙපාර්තමේන්තුව දැඩි නිලධාරී හිඟයකට මුහුණ දිලා ඉන්නේ ඒපමණක් නොවේ අපට අවශ්‍ය තරම් තාක්ෂණික උපකරණ සහ වහාන නෑ .. ජනාධිපතිවරයා කියන විදියට මෙක හුන්ඩුවක් උනානම් අපිට මේ ආරක්ෂාව සපයන එක අමාරු වැඩක් නොවේ.”

