Top 5 This Week

spot_img

Related Posts

ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති රාමුවෙන්ද ඉස්මතු වන්නේ තවදුරටත් ඒකීය රාජ්‍ය සංකල්පය ඉදිරියට ගෙන යෑමක් බවද තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මතය වී ඇත.

දැනට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවට එල්ල වන “බරපතළ අවදානම්” තත්ත්වයන් ඉස්මතු කරමින් මහ ඇමතිවරයා මෙම ලිපිය අගමැතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

එම ලිපිය මඟින් ඔහු පෙන්වාදී ඇත්තේ මෙරට දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සැබැවින්ම විසඳන ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත් විය යුතු බවය.

සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පළාත්වලට බලය බෙදී යන ෆෙඩරල් ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බලපෑම් එල්ල කළ යුතු බවද ස්ටාලින් මහතා යොමු කල ලිපියේ සඳහන්ව ඇති බව පැවසේ.

එවැනි මැදිහත්වීමකින් කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව ගන්නා උත්සාහයට නව වටිනාකමක් එක් කෙරෙනු ඇති බවද එහි දැක්වෙන බව විදෙස් මාධය පවසයි.

Popular Articles