යාවත්කාලීන හා අනාගතය අරමුණු කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් තව දුරටත් තේරීමක් නොවේ. එය හදිසි, දිගුකාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති හා වැලක්විය නොහැකි ජාතික අවශ්‍යතාවයකි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තෝරාගත් හෝ පෙනුමට පමණක් සීමා විය නොහැක. එය ප්‍රාථමික, ද්විතීක, තෘතීක, තාක්ෂණික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු සම්පූර්ණ අධ්‍යාපන පරාසයටම අදාළ විය යුතුය. පුද්ගලික සාර්ථකත්වයට පමණක් නොව, සමාජයටත් ජාතියටත් අර්ථවත් දායකත්වයක් ලබාදිය හැකි, සමබර, දක්ෂ, ආචාරධර්මයන්ගෙන් යුත් සහ සමාජ වගකීම් දරන පුද්ගලයෙකු ගොඩනගා ගැනීම උදෙසා අරමුණුගත වන සේම අරමුණ පැහැදිලි විය යුතු සහ කිසිදු වෙනත් සම්මුතියකින්, එකගතාවයකින් තොර විය යුතුය.
සැබෑ ප්‍රතිසංස්කරණ පෙළපොත් හෝ විෂය නිර්දේශ වෙනස් කිරීම ඉක්මවා යා යුතුය. එය විෂයමාලා දියුණු කීරීම, විශය බාහිර ක්‍රියාකාරකම්, ගුරුවරුන්ගේ පුහුණුව, යටිතල පහසුකම්, තාක්ෂණය, ඇගයීම් ක්‍රම, පාලන ක්‍රමවේද සහ ප්‍රවේශයේ සාධාරණත්වය ආදී සියල්ල ආවරණය කළ යුතුය. අධ්‍යාපනය යනු සමස්ත පද්ධතියකි. එහි එක් කොටසක් නොසලකා හරින ලද හොත් සම්පූර්ණ පද්ධතියම පීඩාවට පත්වේ.
අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා ඇති හදිසි අවශ්‍යයතාවය සැබෑවකි. ඇත්ත වශයෙන්ම, එය දිගු කාලයකින් ප්‍රමාද වී ඇත. එබැවින්ම, සියලුම පාර්ශවකරුවන් වගකීමෙන් කටයුතු කළ යුතුය. ඒ අතර රජය, විපක්ෂය, රාජ්‍ය යාන්ත්‍රණය, අධ්‍යාපනඥයින්, වෘත්තීය සමිති, සිවිල් සමාජය, දෙමාපියන් සහ වෘත්තීයවේදීන් ඇතුළත් වේ.මෙය ආත්මාභිමානය නොව නායකත්වය අවශ්‍ය වන මොහොතකි.
ප්‍රධාන වගකීම දරන රජය, හදිසි හා නොවැදගත් න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක විමට ඇති පෙළඹවීමට එරෙහිව පෙනී සිටිය යුතුය. විශ්වාසයකින් හා නිසි උපදෙස් ලබාදීමකින් තොරව බලෙන් ආරෝපණය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම අසාර්ථක වේ. අවශ්‍ය වන්නේ පැහැදිලි ඉලක්ක(සන්ධිස්ථාන) සහ විවෘතභාවය සහිත, ව්‍යුහගත, කාලසීමා සහිත හා වේගවත් කළ සාකච්ඡාමය උපදේශන ක්‍රියාවලියකි.ඔව් නිසැකවම ක්‍රියාවලිය වේගයෙන් ගමන් කළ යුතුය. නමුත් අන්ධව නොවේ.
පරිපූර්ණත්වය යථාර්ථවාදී නොවේ, එය අවශ්‍යද නොවේ. කිසිදු ප්‍රතිසංස්කරණයක් සියල්ලන්ම සතුටු කරන්නේ නැත. එහෙත් අවංක හා සියල්ලන් ඇතුළත් කරගත් උත්සාහයකින් දුර්වලතා අවම කරගත හැකි අතර, ජාතික උරුමය ගොඩනගා ගනිමින් දේශපාලන චක්‍ර ඉක්මවා දිගුකාලීන තිරසාරත්වය සහතික කළ හැක.
ඒ හා සමානවම වැදගත් වන්නේ විපක්ෂයද සීමිත දෘෂ්ටිකෝණ, පුද්ගලික අමනාපකම් සහ කෙටි කාලීන දේශපාලන වාසි–අවාසි බැලීම් ඉක්මවා නැගී සිටීමයි. පක්ෂීය හෝ පුද්ගලික කණ්ණාඩියකින් ප්‍රතිසංස්කරණ දෙස බැලීම වෙනුවට, සමස්ත ප්‍රතිසංස්කරණ රාමුව විග්‍රහ කර සිසුන්ටත් ගුරුවරුන්ටත් ලැබෙන ප්‍රතිඵල වැඩිදියුණු කරන සාධක–මූලික, නිර්මාණාත්මක යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂයේ වගකීමකි.විශ්වාසනීය විපක්ෂයක් ප්‍රතිසංස්කරණ ශක්තිමත් කරයි. ප්‍රතිචාරාත්මක විපක්ෂයක් ජාතිය දුර්වල කරයි.
වෘත්තීය සමිති සහ වෘත්තීය ආයතනද වගකීමෙන් මෙයට සහභාගී විය යුතුය. අධ්‍යාපනය වීදි දේශපාලනය හෝ දැඩි මතවාදී ඝට්ටන සඳහා තවත් එක් විෂය වස්තුවක් බවට පත් නොවිය යුතුය. ඉතිහාසය අපට වේදනාත්මක පාඩම් උගන්වා ඇත. විපක්ෂයේ සිටියදී ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ ආණ්ඩු, පසුව ඒවාම අනුමත කළ ආකාරය අප දැක ඇත. 1980 දශකයේ ආරම්භයේ සුදු කඩදාසි අධ්‍යාපනය වටා වූ විවාද ඇතුළුව, මේ චක්‍රය අප මීට පෙර දැක ඇත.ඒ වැරදි නැවත නැවත එළෙසම කිරීමට කිසිසේත් සමාව දිය නොහැක.
මෙය ආණ්ඩු හෝ විපක්ෂ පිළිබඳ කාරණයක් නොවේ. මෙය තවම උපන් නැති දරුවන්, අධ්‍යාපන පද්ධතිය මත තම විශ්වාසය තැබූ පවුල්, සහ තම අනාගත තරඟකාරීත්වය සම්පූර්ණයෙන්ම තම මානව සම්පතේ ගුණාත්මකත්වය මත රඳා පවතින රටක් පිළිබඳ කාරණයකි.අප මෙය පැහැදිලි කරගත යුතුය. අධ්‍යාපනය සමඟ දේශපාලනය කිරීම යනු ජාතියේ අනාගතය සමඟ දේශපාලනය කිරීමයි.
එමෙන්ම, රජය අහංකාරයෙන් ආරක්ෂා විය යුතුය. කිසිදු පරිපාලනයක් සියළු දැනුම සහ බුද්ධිය සමඟ අහසින් බැස ආවා නොවේ. තමන්ට කිසිසේත්ම නොවරදින බව පෙන්වමින්, විරුද්ධ අදහස් ඉවත් කරමින් හෝ සියලු විවේචන අවහිරකාරී බවට ලේබල් කිරීම තුළින් ජාතිය තවදුරටත් දෙකට බෙදෙන එනම් දෙපසට ධ්‍රැවීකරණය කරන අතර, ජාතික ව්‍යාපෘතියක් හුදු “අපි එදිරිව ඔවුන්” යන තරඟයක් බවට පත් කරයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බෙදීම නොව, එක් කිරීම කළ යුතුය.
අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ නායකත්වයේ දී නිහතමානීභාවය, විපක්ෂයේ දී වගකීම, උපදේශනයේ දී අවංකභාවය සහ ක්‍රියාත්මක කිරීමේ දී ධෛර්යයයි. මෙම ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස, සියල්ලන් ඇතුළත් කරගනිමින්, විවෘතව හා නිසි අරමුණුක් සහිතව සිදු කළහොත්, එය ජාතික ඉතිහාසයේ සැබෑ සාර්ථකත්වයක් බවට පත්විය හැක.
එය වැරදි ලෙස, හදිසියෙන් හෝ දේශපාලනීකරණය කර සිදු කළහොත්, පරම්පරා ගණනාවක් පුරා අපට එහි විපාක විදීමට සිදුවනු ඇත.අපගේ දරුවන් අප විසින්ම අසාර්ථක කර නොදමමු.

හිටපු කැබිනට් අමාත්‍ය මොහමඩ් අලි සබ්‍රි මහතා සිය facebook ගිණුමට එක්කල සටහනකි

